1
3

විජය එක්ක ආදර ජවනිකා කරද්දි හරිම අපහසුතා වකට පත්වුණා

 

සකල කලාවේ විවිධාකාර ඉසව් ඔස්සේ පෙළහර පෑ සුන්දර චරිත සමග අතීතයෙන් ආරම්භව වත්මන් තොරුතුරු පිළිබඳව කතාබහ ගෙන එන සිරිකත “මහගෙදර” තුළින් අද හමුවන කලාකාරිනිය මෙම ලිපිය සමග ඇති සේයාරූ වලින්  අඳුනාගත්තද.. ඇයගේ නම දිසානායක විජේසුර්යගේ සන්ධ්‍යා දර්ශනී ගුණසේකර යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වේවි.


එපමණක් නොව ඇය අප කවුරුත් ආදරය කළ ආදරය කරන නදීකා ගුණසේකර යැයි ඔබ කියාවි. 


කෙසේ වෙතත් ඇය අප සැමගේ සිත් ඇදබැඳ තබන රංගන කුසලතාවකින් හෙබි අපුරුත්වයෙන් පිරි ශිල්පිනියකි.. ඇය නිරූපණය කළ චරිත අතරින් චංචල රේඛා චිත්‍රපටියේ “දං චූටි” යන නාමය දශක ගණනක් ගතවුවද අදටත් සිහිවන්නේ එනිසාමය.. ඇගේ දිවියේ දැනගත යුතු තවත් බොහෝ දේ අපි අද කතා බහ කරමු...


සන්ධ්‍යා කොහොමද නදීකා වුණේ..?

නදීකා කොහොමද සිනමාවට ආවේ..?

සිනමාවේ මොනවද නදීකා කළේ..? 

නදීකා විවහා වුණේ කා සමගද..?

දරුවෝ ඉන්නවද ..?

ඇය අද මොනවද කරන්නේ කොහෙද ඉන්නේ..?

මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු අප ඇයගෙන්ම දැන ගනිමු.....

සන්ධ්‍යා නදීකා වුණු හැටි...
මගේ නම සන්ධ්‍යා...මම ඉගෙන ගත්තේ මහනුවර මහාමායාදේවි බාලිකා විද්‍යාලයේ. ඉස්කෝලේ නීතියක් තිබුණා ප්‍රසිද්ධ වේදිකාවල ගීත ගායනය රඟපෑම් ආදිය කිසිවකට සහභාගි වෙන්න බෑ කියලා.  එහෙත් මගේ අම්මා තලතා ගුණසේකර එයා ඒ වන විටත් සිනමාවේ ප්‍රසිද්ධියක් ඇති නිළියක් උවමනාව තිබුණේ මාව චිත්‍රපටයකට යොමු  කරන්න. නමුත් මට සන්ධ්‍යා කියන නමින් සිනමාවේ ඉන්න කැමැත්තක් තිබුනේ නැහැ.. මොකද අම්මගේ හොඳම යෙහෙළිය සන්ධ්‍යා කුමාරි ආන්ටිත් සිනමාවේ ඉන්නවානේ..


මේ විදියට ඉන්න කොට තමයි සිරි කුලරත්න  තමයි නම සන්ධ්‍යා වෙනුවට නදීකා හොඳයි කියලා අම්මට යෝජනා කරන්නේ.. එයා අකුරුවල ගණ එහෙම බලලා තමයි එහෙම කළේ..  ඔන්න ඔහොම තමයි  මම නදීකා ගුණසේකර වුණේ. 

 

පළමු චිත්‍රපටිය කාංචනා
1977 එම්. ඒ. සංඝදාසගේ කංචනා චිත්‍රපටිය තමයි මගේ පළමු රංගනය. ඒක සිදු වුණෙත් හරි පුදුම විදියට.. සංඝේ අයියලා අම්මලා හොඳ යාළුවෝ.. ඔය චිත්‍රපටිය කරන්න කලින් දවසක අම්මා  මාව බලන්න මහනුවර ඉස්කෝලෙට එන ගමන් සංඝේ අයියව හමුවෙලා..එතනදි ඔහු ඇහුවලු කොහොමද අර පොඩි දෙන්නා දැන් ලොකුයිද කියලා..  මොකද මාවත් නංගිවත් එයා පොඩි කාලේ ඉඳන් දැකලා තියෙනවා..අම්මා ඒ සැරේ මාව නුවරදී පෙන්නම්කෝ කියලා. ඒ කාලේ අමරසිරි කලංසූරිය අයියාගේ රෙදි සාප්පුවක් තිබුණා. එතනදි මාව සංඝේ අයියට පෙන්නුවා..මොකද මේ අලුත් චිත්‍රපටියේ කලං අයියත් ඉන්නවා.. 

 


ඉතින් මට එදා ඒක තාම මතකයි.  අම්මා මාව එක්කගෙන ඇවිත් සංඝේ අයියට පෙන්නුවා. සංඝේ අයියා හා කිව්වා.. නමුත් මට ඒවන විට උසස් පෙළ විභාගයට මාස තුනයි. ඒත්  අම්මව සතුටු කරන්න චිත්‍රපටියක ඉන්නත් ඕන.. ඒ වගේම තාත්තට ඕන වුණේ මමත් නංගිත් හොඳට ඉගෙන ගන්නවාට.. ඒ නිසාම මම තාත්තගෙන් ඇහුව.. තාත්ත එතකොට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළේ... තාත්ත කිව්ව දෙයක් තමයි..කරන දෙයක් හරි විදියට කරනවනම් කමක් නෑ කියලා.  ඒ වගේම තාත්තාත් කිව්ව දෙයක් තමයි විභාගේ හොඳට පාස් වෙන්න ඕන කියන එක. අම්මයි තාත්තයි අතර පොඞ් පොඩි නොරිස්සුම් කම් ඇතිවෙන්නත් ඇති. මොකද අම්මා චිත්‍රපටිවලටම ජීවිතය කල් ගෙවනවා. තාත්තා විරුද්ධ වෙන්නත් ඇති. නමුත් සමහර තැන්වලදී තාත්තා අම්මා ගැන ආඩම්බර වෙන්නත් ඇති.මොකද තලතා ගුණසේකර කිව්වම හුඟදෙනෙක් ආස කරන නිළියක් බවට අම්මා පත්වෙලා හිටියනේ. අම්මා ගැන සමහර දේවල් එයාගේ රසිකයෝ කතා කරන හැටි දැකලා තාත්තට සතුටු හිතෙන්නත් ඇති. මට දැනුණු එක දෙයක්නම් අම්මාගේ කලාව ගැන තාත්තා නොපෙන්නුව සතුටකින් හිටියා කියලා මම හිතනවා.

 

අම්මා තමයි මඟ සැකසීම සිදු කළේ..
කොහොම හරි මම විභාගේ සමත් වුණා. සමත් වෙලා මට කැලණිය විශ්ව විද්‍යාලය තමයි ලැබුණේ.. නමුත් හැත්ත ගණන්වල ඇති වෙච්ච රටේ තත්ත්වයත් එක්ක වැඩි හරියක්ම සිද්ද වුණේ කැම්පස් වහපු එකනේ..ඒ කාලේ වෙන කොට සිනමාවත් වෙනත් මගකට ගමන් කරමින් තිබුණු කාලයක්..මට දැන් කැම්පස් යන්නත් නෑනේ. දවසක් මට ඩී.බී. නිහාල් සිංහ  හමුවෙන්න ලැබුණා හිතවතෙකුගේ මාර්ගයෙන්.  ඒ කැලැන්ඩරයක පින්තූරයකට පෙනී සිටින්න. නමුත් එතනට ගිය වෙලාවේ මාව දැකපු පළමු මොහොතේම  තමයි... නිහාල් අයියා ඔහුගේ රිදී නිම්නයේ “කුසලා”  සඳහා රඟපාන්න අවස්ථාවට තෝරා ගත්තේ. එයින් පස්සේ අම්මාගේ ඇඳුනුම්කම අනුව  ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා යුවළ මුණ ගැහෙනවා..එතැන පටන් මහාචාර්ය සුනිල් ආරියරත්න,  ලෙනින් මොරායස් සේන සමරසිංහ, කේ සිවදාසන්, තිලක් වේහැල්ල, ඇතුළු සිනමාවේ අපේ කාලයේ දැවැන්ත අධ්‍යකෂකවරුන් සමඟ මට චිත්‍රපටි කරන්න ලැබෙනවා. මේවනවිට චිත්‍රපටි පනහක පමණ රඟපාලා තියෙනවා. මේ හැම දෙයක් සඳහාම මට යම් ශක්තියක් පිටුපසින් තිබුණා නම් ඒ මගේ අම්මා තමයි. 

 

 

ටෙලි රංගනය
ඒ කාලේ අධ්‍යක්ෂකවරු චිත්‍රපටවල රඟපාන අය ටෙලිනාට්‍ය වල රඟපානවට කැමති වුණේ නැහැ. ඒවගේම ටෙලිනාට්‍ය නිළියෝ චිත්‍රපටිවලට ආවෙත් අඩුවෙන් නමුත් මට  චිත්‍රපටි වලින් පස්සේ ටෙලි නාට්‍යත් ලැබුණා. මාලනී පොන්සේකා අක්කගේ නිරූපමා නාට්‍ය යේ තමයි මුලින්ම රඟපෑවේ පස්සේ “හිමි අහිමි” නාට්‍ය කළා. හිමි අහිමි  වෙනුවෙන් උණ්ඩා සම්මානයත් ලැබුණා.මට තාම මතකයි ඒ නාට්‍ය යේ ප්‍රධාන චරිතය රඟපාපු ජයන්ත කැටගොඩගේ පළමු රඟපෑම.. එහි රූගත කිරීම් කරන කොට ජයන්ත මගේ මුණ දිහාවත් බලන්නේ නෑ.. හරිම කුලෑටියි. නාට්‍යයේ සමහර තැන් තිබුණා.. මාව අල්ලන තැන් ජයන්ත ඒ තැන්වලදී වෙවුලනවා..  මම පස්සේ කිව්වා ඔයා ඔයාගේ රඟපෑම කරන්න  මාව අල්ලන්න ඕන තැන්වලින් අල්ලන්න.. කියලා.. පස්සේ  හරි ගියා.. 


පස්සේ ටෙලි නාට්‍ය ගණනාවකට ආරාධනා ලැබුණා.. ඒවගේම හිමි අහිමි දෙවන කොටසත් කරන්න සූදානම් වුණා.. නමුත් මගේ කාර්යබහුලත්වය නිසාම ඒවා බැරි වුණා.

 

අමතක නොවන මතකයෙන්...
ලෙනින් මොරායස්ගේ යුගයෙන් යුගයට චිත්‍රපටිය කරන කාලේ අමතකම වෙන්නේ නැති කාලයක්.. මොකද විජය කුමාරතුංග කියන්නේ ජ්‍යෙෂ්ඨ නළුවෙක් මට ඔහු සමඟ ප්‍රේමණීය දර්ශන ගණනාවක් කරන්න තිබුණා..හීන  හතක්.. අපි විජය කුමාරතුංග කිව්වම තියෙන්නේ ගරුත්වයක්නේ.. එහෙම ගරු කරන චරිතයක් එක්ක ලව්සීන් කරන්න හරිම අපහසුතාවක් ඇති වුණා.. අදත් මතක් වෙන කොට මොකක්දෝ හිතෙනවා.. ඇත්තටම මට හිතෙනවා ඒ චිත්‍රපටිය නොලැබුණා නම් හොඳයි කියලා..


ආයේ සේන සමරසිංහගේ චංචල රේඛා කරන කාලේ එකතැනක් තිබුණා..මම ගාමිණි ෆොන්සේකගේ ඔලුඅතගාලා කියනවා.. අයියේ.. ඔයාට උණ වගේ කියලා..   ඒ ඔළුව අත ගාන සීන් එකෙන් පස්සේ ගාමිණි අයියා ඇහුවා.. ඔළුව අතගෑවද කියලා.. මොකද මම ඔළුවට අත ගාවන්නේ නැතිව උඩින් යවලා විතරයි..ඒ කළේත්  ඒ අය ජ්‍යෙෂ්ඨ අය නිසා තිබුණු චකිතයට..පස්සේ  ගාමිණි අයියා කිව්වා  හොඳට ඔළුවට අත තියලා තදින් අතගාන්න කියලා.. 


ආයෙමත් මට මතකයි  බැද්දේගම චිත්‍රපටිය කරන කාලේ තමයි මම මගේ විශ්ව විද්‍යාල විභාගයකට පාඩම් කලේ.. ඒ කාළේ ලෙස්ටර් අන්කල් සහ සුමිත්‍රා ආන්ටි  අපි නැවතිලා හිටියේ අනුරාධපුරේම නැවතුමක, දවල් රූගත කිරීම් වලින් පස්සේ මම පාඩම් කරනවා. නැවතිලා හිටිය කාමරයේ එළිය මදි කියලා සුමිත්‍රා ආන්ටි විදුලි අංශයේ අයට කිව්වා එළිය වැඩි බල්බ් එකක් දාලා දෙන්න කියලා.. ඒ වගේම කොණ්ඩා සැකසුම් කරපු සෑම් අයියා මම පාඩම් කරද්දී මගේ ළඟ ඉඳන්  දවාලේ ෂූටින් වෙලාවේදී මගේ කකුලේ ඇනිච්ච කටු අයින් කරනවා.. මේ වගේ පුදුම බැඳියාවක් ඇති මතකයක් තියෙනවා.


මේ සැම අයෙකුගේම සහය ඇතිව පාඩම් කරලා දෙවන වසරේ සහ තෙවන වසරේ විභාග දෙකටම ප්‍රශ්න පත්‍ර නවයකට මම එකවර ලිව්වා.. එතනින් ලබා ගත්තු සාමාර්ථයන් මගේ ජිවිතයේ හැම දෙයටම විශාල පිටිබලයක් වුණා. මම නිතර සිතන දෙයක් තමයි උගත්කම සමඟ ඕනෑම දෙයක නිරතවීම ඉතාම සවිමත් බාවයක් තියෙනවා කියන එක.. ඒක අධ්‍යාපනික උගත්කම පමණක් නොවෙයි. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳ උගත්කම මේකට බලපානවා.


කොහොම වුණත් ප්‍රවීණ අයගෙන් මට විශාල සහයක් සෑම චිත්‍රපටියකින්ම ලැබුණා.. මම හිතන්නේ මගේ අම්මා නිසා තමයි ඒ සෑම දෙයක්ම ලැබුණේ.


ප්‍රවීණයින්ට ගරු කිරීම අපි තුළ ගොඩනැගිලා තිබුණා..
අද මේ සිනමාව සහ කලාව හරිම වෙනස් ඒ කියන්නේ මේ තුළ ඉන්න අයගේ අදහස් හරිම වෙනස්.  එකිනෙකාට ගරු කිරීම නෑ. ඒ වගේම බිහිවන නිර්මාණ සියල්ලක්ම තියෙන්නේ දෙදෙනෙක් වටා ගෙතුණු කතා පමණයි. මේ කතා වල අම්මා තාත්ත අයියලා අක්කලා ඉන්නවා, ඒවා ඔහේ කෑවද බිවද කොහෙද යන්නේ වගේ දෙබස් වලට පමණක් සීමා වෙච්ච චරිත.. ප්‍රවීණයින්ගේ දක්ෂකම්වලින් අධ්‍යක්ෂකවරු වැඩ ගන්නේ නැහැ. එයාලට ඕන කාලෙට ජනප්‍රිය චරිත ඉස්මතු කරලා මොකක් හෝ කරන්න විතරයි.  ඒක තමයි මම හිතන්නේ මේ කලාව පහළටම වැටෙන්න හේතුව වන්නෙත්.


නවකයින් කිසිම ගෞරවයක් ප්‍රවීණයින්ට දක්වන්නේ නැහැ. අපි ඒ කාලේ විතරක් නොවෙයි. ප්‍රවීණ ජ්‍යෙෂ්ඨයින්ට ගරු කළා.   අදට වුණත් මම ශ්‍රියානි අක්ක මාලනි අක්ක වගේ අය අවොත් වාඩි වෙලා ඉන්න තැනින් නැගිටිනවා. ඒක බයක් නොවෙයි ගෞරවයක්. අපි අපේ ගෙවල් වලින් හදා ගත්තු හැදියාවක්.


ගෙදරට කවුරු හරි ආවාම හැංගිලා කාමරයට වෙලා ඉන්න දරුවෝ තමයි අද බොහෝ නිවෙස් වල ඉන්නේ. එහෙම නොවෙයි ගෙදරට කෙනෙක් ආවාම ගේ ඇතුළෙන් එළියට ඇවිත් ඒ අයට ආචාර කරලා තමන්ගේ කටයුත්තක නිරත වුණාට කමක් නෑ. අද දරුවන් දෙමවුපියන් කෙරෙහි ගරුත්වය නැති වෙලා කියලා මම හිතනවා.


මොකද අද දරුවෝ ඉන්නේ විභාග හඹායන ඉගෙනුම් කලාවක නිසා ඒ අයට නෑදෑ හිතවතෙක් එක්ක සමීපව කතාබහ කරන්නවත් කාලය නෑ. නමුත් අපි දරුවෝ හැදිය යුත්තේ මේ දෙකම සම බරව ගෙනියන්න හැකි විදියට.


මගේ අම්මා මගේ තාත්ත මට දුන්නු අවවාදය එයයි. මම කවදාවත් වැඩිහිටියෙක් කතා කළාම ඇයි කියලා අහන්නේ නැහැ. මේ එනවා කියලා ඉක්මනට ළඟට ගිහිං තමයි ඇයි කියලා ඇහුවේ..  ආයෙත් මම වැඩක්... ඇයි කියන්න...  කියන වචන අපි ළඟ තිබුණේ නැහැ. මම සිනමාවට එද්දී තිබුණු ඒ සිරිත් මගේ මේ ගමනට හුඟාක් බලපෑවා.


සටහන සහ සේයා රූ 

විශ්ව ගැමුණු ප්‍රියංකර

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.