1
3

පුංචි කාලෙ ඉඳලම මම අම්මයි තාත්තයි දැක්කේ මිනිස්සු හුඟක් ආදරය කරන දෙන්නෙක් විදියට

 

“අම්මාගේ වියෝව තමයි මම හිතන්නේ තාත්තා ජීවිතයේ විඳපු ලොකුම දුක. ඒක දුකක් විදියට අපටවත් කාටවත් පෙන්නුවේ නැති වුණාට.. එයා දුකක් විදියට හුඟක් වින්ඳා.


අම්මා නැති වුණාට පස්සේ තාත්තා අපිත් එක්ක නවතින්න ඒවි කියලා අපි හිතුවා. ඒත් එයා අම්මා එක්ක ජීවත් වුණු නුගේගොඩ මහ ගෙදරටම වෙලා ඒ විරහව වින්දා... හුඟක් අසනීප තත්ත්වයේදී තමයි අපි දෙන්නා ළඟට ආවේ..”

හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන


හෙළ රඟමඩලට පතිත වූ උදා හිරු රැසක් සේ සුවදායි රංගකලාවකින් වේදිකාවේ නිමැවුම් පෑ කලාකීර්ති ආචාර්ය  හෙන්රි ජයසේනයන්ගේ සහ රංගවේදිනියක් මෙන්ම ඇදුරුතුමියක් වූ මානෙල් ජයසේන ආදරණිය බිරිඳගේ එකම පුතුවූ... සුධාරක  ජයසේන නම්වූ ඔහු.... සිය ආදරණීය මව්පියන්ගේ  දිවියේ එක් සන්ධිස්ථානයක් සිහිපත් කළේ එඅයුරිනි.


අද අප මහගෙදර තුළින් කතා බහ කරනුයේ  එවන් වූ මවුපිය ස්නේහයකින් සිය සිතිවිලි තුළින් ගොඩ නැගුණු අමරණිය වේදිකාවේ අසඩක් සහ ගෘෂාගෙන් උපන් මයිකල් කුමරුවන් සමඟය..  


සුධාරක නම් වූ මා හෙන්රි මානෙල් යුවළ දකින්නේ මෙහෙමයි.. 


ඇත්තටම  මම බාහිරව සිට රසිකත්වයකින් තාත්තව දකින්නේ නවකතාකරුවෙක්, කවියෙක්, නාට්‍ය රචකයෙක්, පරිවර්තකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක් වගේම..  කලා ලෝකයේ  සුවිශේෂී පරාසයක් නියෝජනය කළ අග්‍රගන්‍ය නාට්‍ය රචකයෙක් හා නාට්‍ය නිෂ්පාදකයෙක් විදියටයි.


ඒ වගේම  ලොව මෙතෙක් පහළ වූ විශිෂ්ට ගණයේ නාට්‍ය වේදියෙකු වන බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙරට ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමේ පුරෝගාමියා වූයේත් ඔහු.


මේ දෙදෙනාගේම කැපවීම කැපකිරීම සහ නොපසුබට උත්සාහය තමයි හැම නිර්මාණයක්ම බිහි වීම සිදු වුණේ.  මේ හැම දේකටම ඔහු අසලින් මානෙල් ජයසේන නම්වූ ඇයත් වැඩි කාලයක් විශාල ශක්තියකින් ළඟින්ම හිටිය සිටියා.


 අම්මයි තාත්තයි හැටියට...

දැන්  මම කියන්නම් මගේ තාත්තා සහ අම්මා.. හැටියට මේ දෙන්නා ගැන....තාත්තගේ සම්පූර්ණ නම කියනවා නම්  බස්තියන්ලගේ  රුද්‍රිගෝ හෙන්රි ජයසේන.තාත්තා  භාවිතා කළේ හෙන්රි ජයසේන.. කියන නම.. 
මම තාත්තවයි අම්මවයි පුංචිම කාලේ ඉඳන් දැක්කේ හුඟ දෙනෙක් ආදරය කරන කලාකරුවන් දෙදෙනෙක් විදියටම තමයි.පාසල් කාලේ මට ඒක දැනුණා.  ඇත්තටම මම ඒක ගැන  ආඩම්බරයක් හිතට ගත්තේ නැහැ මට හිතුනේ මේ වගේ දෙන්නෙක් ලබන්න මම හුඟක් පින් කරලා ඇති කියලා..  


මගේ කලා ජීවිතේ සහ  බොහෝ තැන් වලදී  ඒ පින අදටත් තියෙනවා කියලා මම සිතනවා..


මම ඉගෙන ගත්තේ බොරැල්ල ඩී. එස්. සේනානායක විද්‍යාලයේ. තාත්තයි අම්මයි දෙන්නම කොයිතරම් ප්‍රවීණයෝ වුවත්.. මගේ පාසලේ කටයුතු වලදී ඒ දෙන්නා තවත් අම්මෙක් තාත්තෙක් තරම් සරලයි..  මට මතකයි තාත්තා ඉස්සර ඉස්කෝලේ ටි්‍රප් එකක් එහෙම යනවා නම් තාත්තා කෙනෙක් වගේ අපි එක්ක ඒ සඳහා සහබාගී වෙනවා..  කවදාවත් පාසලේ ගුරු දෙගුරු රැස්වීමක් මග හැරලා නෑ.. ශ්‍රමදාන වලදී ඒ මව් පියන් එක්ක තාත්තා වැඩ කරනවා..


ඒ තුළින් මට පොඩි කාලේ ඉඳන්ම ඒ දෙන්නගේ ආදරය දැනෙන්න වින්දා. තාත්තා රැකියාවල් කිහිපයකම නියුතු වුණා. අම්මත් එහෙමයි  එහෙත් කවදාවත් මගේ පාසලේ කටයුතු වලට වඩා වැඩි තැනක් දුන්නා.

 


මගේ ඇසින් මාදෙස බැලුූ තාත්තා..

තාත්තා මා ගැන දැක්කේ මගේම ඇහෙන් කියලා සමහර වෙලාවට මට හිතුණා.


පුංචිම කාලේ මට මතකයි.. ලංකාවට පළමුවෙන්ම දුවන පඩිපෙළක් සවි කළේ කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලට... තාත්තා මාවයි තව මගේ වයසේ ළමයි හුඟ දෙනෙක්  ඒක පෙන්වන්න එක්ක ගියා..
එයා දැක්කේ ඒක දැකපුවම අපේ සතුටු වෙන මූණු විතරයි..


ඒ වගේම  මට හැකිවුණා අවුරුදු පහේ ඉඳන්ම තාත්තාගේ නාට්‍ය වල චරිත වෙන්න. හුනු වටයේ කතාවේ මයිකල් කුමාරයා චරිතේ කරපු අයගෙන් පස්වෙනියට පෙනී හිටියේ මම.. ඉතින් ඒ වගේ පුංචි පුංචි දේවල් වලින් මාව අම්මයි  තාත්තයි කලාවට ගෙනාවා..


නමුත් මට බලකිරීමක් කළේ නැහැ. කලාව තුළම රැඳෙන්න කියලා.. ඒ දෙන්නම කිව්වේ හරි දේ හරි විදියට කරන්න හරි මඟකට යන්න හොඳ දරුවෙක් වෙන්න කියලා විතරයි..


තරුණ කාලේ අපි යාළුවෝ එක්ක විනෝද වුණා චිත්‍රපටි බලන්න ගියා..  ඒවාට තාත්තා අම්මා තහංචි දැම්මේ නැහැ.. නිතරම සීමාව පෙන්නලා දුන්නා.


ඒ අනුව  මගේ තරුණ කාලෙත් එක්කම වගේ  මට අවස්ථාව ලැබුණා ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මයාගේ සහ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගොළු හදවතේ සුගත් වෙන්න..  සම්මුඛ පරීක්ෂණයකින් මාව තෝරා ගත්තේ..මම හිතන්නේ එතන තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ..


ඒ සම්මුඛ පරීක්ෂණයෙන්ම තමයි.. ගොළුහදවතට දම්මිව තෝරාගෙන තිබුණෙත්.. ඇය අනෝමා හේරත්.. ඒ දම්මි තමයි මගේ බිරිඳ වුණේ... දැන් ඇයව අඳුන්වන්නේ අනෝමා ජයසේන නමින්.

ආදරණීය බිරිඳ අනෝමා සමග


මමත් ඇයත් ඒ වෙන විට ඉතාම ලාබාල වයස්.. අපි දෙන්නා අතරේ හොඳ මිතුදමක් ගොඩ නැගිලා ඒක ආදරයක් බවට නොදැනිම පත්වෙලා..  මම මුලින්ම කළේ ඒ ගැන අම්මට කියපු එක අම්මා තාත්තටත්  ටික දවසකින් කියලා තිබුණා..  පස්සේ තාත්තා අනෝමාගේ ගෙදරට ඒ ගැන ලිපියක් මගින් දැනුම් දීලා ඒ අයව බලන්න ගිහින් ඒ අයව අපේ ගෙදරට ආරාධනා කරලා දෙන්නාගේ අනාගතය වෙනුවෙන් අඩිතාලම දැම්මා..


අපි දෙන්නටම ඒ කලේදිම  හැටන් නැෂනල් බැංකුවේ රැකියාව ලැබුණා... මම හිතන්නේ අපි දෙන්නම ගොළු හදවතේ දම්මි සුගත් වීම තමයි ඒ ආයතනයේ රැකියාවට හේතු වුනේ. මොකද ගොළු හදවත ටෙලිනාට්‍යයේ  අනුග්‍රාහක ආයතනය වුනේ මේ මුල්‍ය ආයතනයයි. 


පළමුව අනෝමා එහි රැකියාවට ගියා. පසුව ඇය මාවත් ඒ සඳහා යෝජනා කරලා තාත්තගෙත් ඉල්ලීම පරිදි ආයතනයට සම්බන්ධ වෙන්න හැකිවුණා. අපි දෙන්නම දැන වසර 28 ක කාලයක් එහි සේවයේ යෙදී සිටිනවා.
අපි 1994 විවාහ වුණා.. අපට පුතාලා දෙන්නෙක් ඉන්නවා.. ලොකුපුතා රන්දිර එයා මේ වන විට පරිඝණක ඉන්ජිනේරුවරයෙන් වශයෙන් කටයුතු කරනවා. බාලයා හංසජ එයා වැඩිදුර අධ්‍යාපනයට ඕස්ටේ්‍රලියාවේ ඉන්නේ.


අපි දෙන්නගේත් ආච්චිගෙත් සීයාගෙත් හැකියාවන් ඉදිරියට ගෙනියන්න ඒ දෙන්නටම හුඟක් හැකියාව තියෙනවා. ලොකුපුතා වාර්තා වැඩසටහන් සඳහා රඟපාලත් තියෙනවා. ඉදිරියේදී ඒ දෙන්නා කැමති තීරණයක් අනුව ඇතැම් විට කලාවට එකතුවෙන්නත් පුළුවන්.. මමවත් අම්මවත් බලකිරීමක් කරන්නනේ නැහැ. 

 


නිර්මාණ සංරක්ෂිතයි
අම්මයි තාත්තයි කරපු නිර්මාණ මම මේ වන විට ඉදිරිය වෙනුවෙන් ගෙන යෑමේ පියවරක් අරගෙන තියෙනවා.. නිමල් ජයසිංහ මහත්මයා තාත්තගේ පැරණිම මිතුරෙක් ඔහු හුණුවටයේ කතාව නව නිෂ්පාදනයක් හැටියට ඉදිරියට රැගෙන යනවා.. එහි නිෂ්පාදන කළමනාකරු හැටියට මම කටයුතු කරනවා.. ඒ වගේම ප්‍රසන්නජිත් අබේසුරිය මහතා සහ මා එකතුවෙලා තාත්තගේ කුවේණි නාට්‍ය නව නිපැයුමක් වශයෙන් කරගෙන යනවා.. තාත්තගේ නාට්‍යයක් මට කරගන්න ලැබුණා කියලා විශාල සතුටක් ආඩම්බරයක් මගේ  සිතේ තියෙනවා. 


ඒ වගේම තාත්තා ලියූ පොත් නැවත මුද්‍රණය කිරීමටත් තාත්තා නවත්වපු කෘති මම එතැන් සිට පරිවර්ථනය කරන්නත් පටන් අරගෙන තියෙනවා.. ඒක බොහෝම සතුටකින් කරන දෙයක්.

 

සුධාරක සහ අනෝමා පුතුන් දෙදෙනා සමග

 


තාත්තාට අම්මගේ වියෝව දැනුණු හැටි..


තාත්තායි අම්මයි විවාහ වෙලා තියෙන්නේ  1962.  එදා ඉඳන් ඒ දෙන්නා තුළ තිබුණු බැඳීම මහ අමුතු එකක් දෙන්නා යම් යම් මත වාද මත බේද ඇති කරගෙන ඒ දෙන්නම ඒවා විසඳගෙන සතුටින්මයි හිටියේ..


මනා හික්මීමකින් යුතු නාට්‍ය කණ්ඩායමක මූලික අඩිතාලම සකසන්න මම හිතන්නේ අම්මා තාත්තට විහාල ශක්තියක් ලබා දී තිබුණා. අම්මයි තාත්තයි ළඟට රඟපෑම් කටයුතු සඳහා පළමුවෙන්ම ඇවිත් අද කලාවේ ඉහළම රැඳී ඉන්න ප්‍රවීණයෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම අම්මටයි තාත්තටයි පුදුම ගෞරවයක් අදටත් තියෙනවා.


2004 ජූලි 24 අම්මා නැතිවුණේ. 


තාත්තා නැතිවුණේ 2009 නොවැම්බර් 11 අද වගේ දවසක....


අම්මගේ වියෝවය දැනුණු හැටි තාත්තා කවියක ලියලා තිබුණා.. මම අද ඒ දෙන්නා වෙනුවෙන් හදපු සොහොන් ස්මාරකයේ අම්මගේ රූපය ළඟ ඔය කවිය ලියෙව්වා.. 

සේයාරූ සහ කතා බහ 
විශ්ව ගැමුණු ප්‍රියංකර

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.