1
3

අද තත්ත්වයත් එක්ක නිරූපිකාවක් කියන්නත් කැමති නෑ..

 

නිරූපණ ක්ෂේත්‍රයේ නව පරපුරේ ශිල්පීන් අතර ඇය දක්ෂ නිරූපණ ශිල්පිනියක් එසේම මේ වනවිට ඇය රංගන ශිල්පිනියකි. 2015  දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලිය වැනි නිරූපණ තරගාවලි හරහා ලංකාවට බොහෝ ජයග්‍රහණ ගෙන දුන් නිලුෂි පවන්යා. සිරිකත කවරයේ කතාවේ කතා බහ ඇය සමඟයි.

 


■ මොනවද මේ දවස්වල අලුත් කලා කටයුතු?
හිරු ටී.වී. එකේ හුස්මක් තරමට ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. මම දායක වුණු පළමු චිත්‍ර පටය එරංග සේනාරත්නගේ ‘නිලූ මං ආදරෙයි’ මේ වසර අවසානයේ ප්‍රේක්ෂකයින් හට දැක ගන්න ලැබේවි. ඇත්තටම ටෙලි නාට්‍යවලට වඩා මම ගොඩක්ම කැමති චිත්‍රපට ක්ෂේත්‍රයේ නිර්මාණවලට දායක වෙන්න. කොහොම වුණත් ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකින් මාව දැකගන්න ලැබේවි.

 


■ ඇයි නිලූෂි කලාව වගේ ක්ෂේත්‍රයක් තෝරගන්න හිතුවේ?.
මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ නිරූපිකාවක් විදිහට. ඒත් මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ නාට්‍ය කලාව පිළිබඳව තමයි ඉගෙන ගත්තේ. මට මුලින්ම රංගන කලාව ගැන මූලික දැනුම ලබා දුන්නේ ප්‍රින්සි ප්‍රනාන්දු මහත්මිය. ඉතින් මට නර්ථනයට වගේම රංගනයටත් දක්ෂතාවක් තියෙනවා කියලා එදා මට හිතුණා.

 


■ කොහොමද රංගන කටයුතුවලට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ?
දවසක් නිරූපණ තරගයක විනිශ්චය මණ්ඩලයට මට ආරාධනාවක් ලැබිලා ගිය වෙලාවක එතනදි මට මුණ ගැහුණා සනෝජා බිබිලේ මහත්මියව. එතකොට මම විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ ඉගෙන ගත්තේ. සනෝජා අක්කා මාව දැකලා ඇහුවා ඇයි ඔයා මෙච්චර කාලයක් රංගනයට ආවේ නැත්තේ කියලා. ‘නිලූ මං ආදරෙයි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාව මට හඳුන්වලා දුන්නේ සනෝජා අක්කා. මම මුලින්ම ස්තුති කරන්න ඕන ඇයට. ඇය තමයි මට රංගනයට එන්න අවස්ථාව හදලා දුන්නේ.

 


■ එතකොට නිවේදන කේෂ්ත්‍රයට එන්නේ...?
චැනල් ක්‍ එකේ තමයි මම මුලින්ම නිවේදිකාවක් විදිහට වැඩ කළේ. දැන් සියත ටී.වී. එකේ නිවේදනයෙන් එකතු වෙනවා. මේ අවස්ථා මට ලැබුණේ ටී.වී. වැඩසටහනක සාකච්චාවකට ගිය වෙලාවක මගේ කතා විලාසය දැකලා මට සංගීතමය වැඩසටහනක් කරන්න කියලා ආරාධනා ලැබුණා. එතැනින් පටන් ගත්ත මම අද වනවිට නිවේදනයෙනුත් ලොකු ගමනක් ඇවිත් තියෙනවා.

 


■ නිරූපිකාවෝ රංගනයට ඒම දැන් ෆැෂන් එකක් වෙලා නේද?.
රංගන දක්ෂතා තියෙන අය නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඉතින් ඒ අයගේ දක්ෂතාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක මම වරදක් විදිහට දකින්නේ නෑ. මොඞ්ලින් කරන එක ලේසියි. ඇක්ටින් කියන එක ලොකු පරාසයක් එක්ක යන දෙයක්. එතන අපිට ඕන දේ කරලා එන්න බැහැ.

 


■ වර්ථමානයේ නිරූපණ ක්ෂේත්‍රය ගැන නිලුෂිගේ අදහස මොකක්ද?.
අද තියෙන ගොඩක් නිරූපණ තරගාවලි තත්ත්වයෙන් බාලයි. නිරූපිකාව ලංකාවේ පිළිගන්නේ ගොඩක්ම පහත් විදියට. ඒකට වග කියන්න ඕනේ මේ ක්ෂේත්‍රයේම අයයි. එයාලා හැසිරෙන ආකාරය අනුව අද නිරූපණ ක්ෂේත්‍රය ඉතාම දූෂිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. අද නිරූපිකාවක් කිව්වාම බොහෝ අය හිතාගෙන ඉන්නේ ඒ අය මුදලට විකිනෙන අය කියලා. ඇත්තටම අද තියෙන සමාජ තත්ත්වයත් එක්ක නිරූපිකාවක් කියන්නවත් මම කැමති නැහැ.

 


■ නිලුක්ෂිගේ මොනවද ඉදිරි බලාපොරොත්තු?
රංගනය පැත්තෙන් ඉදිරියට යන්න කැමතියි. මුලදි රංගනය පැත්තට එන්න පුංචි ආසාවක්වත් තිබුණේ නැහැ. පස්සේ මට හිතුණා මට ඒක කරන්න පුළුවන් කියලා. මගේ උපාධිය සම්පුර්ණ වෙනවා තව මාස දෙකකින්. උපාධිය ගත්තට පස්සේ රංගනය කරන ගමන් අධ්‍යාපනය පැත්තෙන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 


■ මොනවගේ රැකියාවක්ද?.
නර්තන ගුරුවරියක් ලෙස සේවය කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මොනවා වුණත් මම ගුරු වෘත්තියට ගරු කරනවා.

 


■ මේ දිනවලත් ඔබ ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ගුරු චරිතයකින්?.
ඔව් ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ මම රගපාන්නේ ගුරුවරියකගේ චරිතයක්.ශ්‍යාමි ටීචර්ට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම මම විශ්වවිද්‍යාලයට යන්න කලින් වසර 2 ක් ගුරුවරියක් විදිහට වැඩ කළා. ඒ අත්දැකීම නිසා මේ චරිතය කරන්නත් මට ගොඩක් ලේසි වුණා.

 


■ විශේෂයෙන් මේ වෙලාවේ මතක් කළ යුතු කෙනෙක් ඉන්නවද?.
මගේ ජීවිතේ හැම දේකදීම මගේ ළඟින් හිටපු එකම කෙනා මගේ අම්මා. මගේ ගම හලාවත. ගමක හැදුණු මම කොළඹ ඇවිල්ලා මේ තත්ත්වයට එන්න මගේ පස්සෙන්ම හිටියේ මගේ අම්මා. මට හිතෙනවා කවුරු නැතත් එයා හැමදාටම මගේ ශක්තිය වේවි කියලා.

නදීශා අතුකෝරළ
ඡායාරූප: සජීව ලක්ෂාන්

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.